IPL 2024: 6 පහර සැණකෙළියක් වූ හැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (2024)

IPL 2024: 6 පහර සැණකෙළියක් වූහැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (1)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝකයේ මිල අධික ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දු යවන්නන්ගේ අනාගතය අවිනිශ්චිතභාවයට පත් කරන තරගාවලියක් බවට මේ වසරේ පත්ව තිබේ.

ඉන්දියාව පුරා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පිතිකරුවෝ සුළඟට අභියෝග කරමින්, අනුකම්පා විරහිත ලෙස දැවැන්ත පහරවල් එල්ල කරමින්, සෑම තරගයක් ම පාහේ 6 පහර එල්ල කරන සැණකෙළියක් බවට පත් කරමින් සිටිති.

මෙම තත්ත්වය මත පන්දු යවන්නන් අසරණ වී සිටින අතර, පන්දු වාර 20 ක්‍රිකට් කුමන දිශාවකට යොමු වෙමින් පවතින්නේ ද, යන්න සම්බන්ධයෙන් විශ්ලේෂකයෝ සහ ක්‍රිකට් ලෝලීහු ව්‍යාකූලත්වයට පත්ව සිටිති.

මෙතෙක් අවසන් වී ඇති තරග සැලකිල්ලට ගනිමින් පිතිකරුවන් කර ඇති සංහාරය වටහා ගැනීමට පහත දැක්වෙන උදාහරණ දෙස බලන්න.

  • IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා

ලකුණු 200 සීමාව පසුකිරීම ජයග්‍රහණය තහවුරු වීමක් නොවේ

තරග 74කින් සමන්විත IPL තරගාවලියේ තවමත් අවසන් වී ඇත්තේ, තරග 46ක් පමණි.

මීට පෙර පන්දු වාර 20 තරගයක පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 200ට ආසන්න සංඛ්‍යාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වුවහොත් ඔවුන් තරගය ජය ගනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් පැවතිණි.

එහෙත්, එම විශ්වාසය සුණුවිසුණු කර දමමින් අප්‍රේල් 27 වන දා පැවති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 262ක දැවැන්ත ඉලක්කයක් පන්දු වාර 18.4කදී හඹා යාමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

එය පන්දු වාර 20 ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක ම හඹා යාම ලෙස ඉතිහාසයට එක් විය.

එහිදී, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ෆිස් සෝල්ට් පන්දු 37කදී ලකුණු 75ක් සහ සුනිල් නරයින් පන්දු 32කදී ලකුණු 71ක් රැස් කළහ.

පන්දු යැවීමේදී රාහුල් චහාර් හැර සෙසු සියලු පන්දු යවන්නන්ගේ පන්දු වාරයකදී ලකුණු ලබා දීමේ සාමාන්‍යය 10 ඉක්මවා තිබිණි.

පිළිතුරු වශයෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 18.4කදී ලකුණු 262ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එහිදී, ප්‍රභ්සිම්රන් සිං පන්දු 20කදී ලකුණු 54ක් ද, ජොනී බෙයාර්ස්ටෝ පන්දු 48කදී ලකුණු 108ක් ද, ශෂාන්ක් සිං පන්දු 28කදී ලකුණු 68ක් රැස් කළහ.

සුනිල් නරයින් හැර සෙසු සියලු කොල්කටා පන්දු යවන්නන්ගේ ලකුණු ලබා දීමේ සාමාන්‍යය 13.50 ඉක්මවීය.

මෙම තරගයේදී ක්‍රිකට් වාර්තා රැසක් අලුත් විය.

IPL 2024: 6 පහර සැණකෙළියක් වූහැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (2)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 IPL තරගාවලියේ මෙතෙක් සිදුවූ හොඳ ම හඹා යාම්

2024 IPL තරගාවලියේ මෙතෙක් සිදුවූ හොඳ ම හඹා යාම් අතර පෙරමුණේ පසු වන්නේ ඉහත පැහැදිලි කළ පරිදි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කළ ලකුණු 262ක හඹා යාමයි.

ඊට අමතරව, අප්‍රේල් 16 වන දා ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ම මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දීමට සිදු විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 223ක් රැස් කළේය.

එහිදී, නිල පිතිකරුවෙකු නොවන සුනිල් නාරයන් පන්දු 56කදී ලකුණු 109ක් රැස් කළ ද, ඔහුගේ ශතකයට තිබූ වටිනාකම සුණුවිසුණු කර දමමින් රාජස්ථාන් කණ්ඩායමේ ජොස් බට්ලර් පන්දු 69කදී ලකුණු 107ක් රැස් කරමින් ලකුණු 224 ඉලක්කය හඹාගොස් රාජස්ථාන් කණ්ඩායමට ජය අත්පත් කර දුන්නේය.

IPL 2024: 6 පහර සැණකෙළියක් වූහැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (3)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලකුණු 250 ඉක්මවූ අවස්ථා 8ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවස්ථා 10කදී ලකුණු 250 සීමාව ඉක්මවා ඇති අතර, ඉන් අවස්ථා 8ක් මෙවර තරගාවලියේදී වාර්තා වීම සුවිශේෂී සිද්ධියකි.

මීට පෙර, 2013 තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම, පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5කට ලකුණු 263ක් රැස් කර තිබිණි. ඊට අමතරව, 2023 තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 257ක් රැස් කර තිබිණි.

ලකුණු 250 සීමාව පසු කළ ඉතිරි අවස්ථා 8 ම මෙවර තරගාවලියේදී වාර්තා විය.

මෙම ඉනිම 8 තුළ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අවස්ථා 3කදී ලකුණු 250 ඉක්මවීමට සමත්වීම තවත් විශේෂත්වයකි.

6 පහර සැණකෙළියක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6 පහර හඳුන්වන්නේ 'උපරිම ලකුණු සහිත පහර' යන අර්ථය ඇති 'maximum' යන ඉංග්‍රීසි වචනයෙනි.

මෙවර තරගාවලිය ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි 'හයේ පහර එල්ල කිරීමේ සැණකෙළියක්" බවට පත්ව තිබේ.

තරගාවලියේ මෙතෙක් පැවති තරග 46 තුළදී 6 පහර 852ක් එල්ල කර තිබේ. ඒ අනුව, එක් තරගයකදී 6 පහර එල්ල කිරීමේ සාමාන්‍යය 18.52කි.

ඉරිදා (අප්‍රේල් 28) පැවති තරග දෙකේදී පමණක් එල්ල වූ 6 පහර සංඛ්‍යාව 38කි.

මේ වන විට වැඩි ම 6 පහර සංඛ්‍යාවක් එල්ල කර ඇත්තේ, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හෙන්රික් ක්ලාසන් ය. ඔහු තරග 8කදී 6 පහර 28ක් එල්ල කර තිබේ.

ඊට අමතරව, සන්රයිසර්ස් කණ්ඩායමේ අභිෂේක් ෂර්මා 6 පහර 27ක්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ෂිවම් ඩුබේ 6 පහර 26ක් සහ කොල්කටා කණ්ඩායමේ සුනිල් නරයින් 6 පහර 24ක් මේ වන විට එල්ල කර තිබේ.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී එල්ල කරන ලද මුළු 6 පහර සංඛ්‍යාව 1,124ක් විය. මෙවර පැවති තරග 46කදී එම සංඛ්‍යාව ආසන්නයට පැමිණ තිබීම විශේෂත්වයකි.

මීට අමතරව, පැවති 46 තුළදී 4 පහර 1433ක් ද එල්ල කර තිබේ.

IPL 2024: 6 පහර සැණකෙළියක් වූහැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (4)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පවර් ප්ලේ අවස්ථාවක රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව

පන්දු වාර 20 තරග ඉතිහාසයේ පවර් ප්ලේ අවස්ථාවක රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා සමත්වූහ.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පළමු පන්දු වාර 6 තුළදී ලකුණු 125ක් රැස් කරමිනි.

මෙහිදී, ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා 4 පහර 13ක් සහ 6 පහර 11ක් එල්ල කළහ.

හතරේ සීමාවේ දුර අඩු කිරීම

ක්‍රිකට් යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පරණි මතයක් පැවතිය ද, මේ වන විට පන්දු වාර 20 තරග පත්ව ඇති තත්ත්වයට පත්වුවහොත් එවැනි තරග සම්බන්ධයෙන් ඇති උනන්දුව අඩු විය හැකි බව ඉන්දීය විශිෂ්ට පිතිකරුවෙකු වූ සුනිල් ගවස්කාර් පෙන්වා දී තිබේ.

ගවස්කාර් වඩාත් කනගාටුවට පත්ව සිටින්නේ, හතරේ සීමාවේ දුර සාම්ප්‍රදායික යාර 75 සිට 65 දක්වා හෝ ඊටත් වඩා අඩු වීම සම්බන්ධයෙනි.

"පන්දු යවන්නෙක් පිතිකරුවෙකුට වැරදි පහරක් ගහන්න පන්දුවක් යැව්වා ම පිතිකරුගේ වැරදි පහර හයේ පහරකින් කෙළවර වෙනවා නම් මොක ද වෙන්නේ?," සුනිල් ගවස්කාර් ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත්, ඔහු පෙන්වා දී ඇත්තේ පිතිවල පවතින නවීන තත්ත්වය හේතුවෙන් වැරදි පහරක් පවා 6 පහරක් බවට පරිවර්තනය විය හැකි තත්ත්වයක් ද පවතින බව ය.

ක්‍රීඩකයින්ට අභියෝගයක්

මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්ත්වය හමුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට, විශේෂයෙන් පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල වී ඇතැයි ප්‍රවීණ ක්‍රීඩකයෝ පෙන්වා දෙති.

බොහෝ ක්‍රීඩකයින් පන්දු වාර 20 තරග සමාන කර ඇත්තේ, බේස්බෝල් තරගවලට ය.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙකු වූ ඩේල් ස්ටේන් පවසන්නේ, පන්දු වාර 4ක් තුළ වීරයෙකු වීමට පන්දු යවන්නන්ට අවස්ථාවක් ඇති අතර ඔවුන් ඒ වෙනුවෙන් කැපවිය යුතු බව ය.

මේ අතර, මෙම අභියෝගයට මුහුණ දීමට පන්දු යවන්නන් ඇතුළු සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා ක්‍රියාශීලී සහ නිර්මාණාත්මක විය යුතු බව ක්‍රිකට් ප්‍රවීණයන්ගේ සහ විශ්ලේෂකයින්ගේ අදහස යි.

IPL 2024: 6 පහර සැණකෙළියක් වූ හැටි ඔබ දන්නවා ද? - BBC News සිංහල (2024)
Top Articles
Latest Posts
Article information

Author: Ray Christiansen

Last Updated:

Views: 5967

Rating: 4.9 / 5 (49 voted)

Reviews: 80% of readers found this page helpful

Author information

Name: Ray Christiansen

Birthday: 1998-05-04

Address: Apt. 814 34339 Sauer Islands, Hirtheville, GA 02446-8771

Phone: +337636892828

Job: Lead Hospitality Designer

Hobby: Urban exploration, Tai chi, Lockpicking, Fashion, Gunsmithing, Pottery, Geocaching

Introduction: My name is Ray Christiansen, I am a fair, good, cute, gentle, vast, glamorous, excited person who loves writing and wants to share my knowledge and understanding with you.